කාන්තාවන්ගේ පියයුරු පිළිකා

ඔබට පිලිකා තත්ත්වයක් පවතී නම්, එක්ව සාකච්ඡා කර හොදම ප්‍රතිකාර සහ සත්කාර ලබා දෙන, විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සැදුනු බහුවිධ කණ්ඩායමකට (Multidisciplinary team (MDT) යොමු කල යුතුය. පියයුරු පිළිකාවට ඇති ප්‍රධාන ප්‍රතිකාර:

ඔබට මෙම ප්‍රතිකාර වලින් එකක් හෝ සංයෝජනයක් ලබා දිය හැකිය. පිළිකා තත්ත්වය රෝග විනිශ්චය කළේ කෙසේ ද යන්න මත සහ එහි අවධිය මත ඔබට සිදු කරන ප්‍රතිකාර වර්ගය සහ සංයෝජනයේ ස්වභාවය රඳා පවතී. අවදානම් පුද්ගලයන් හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ වලදී විනිශ්චය වූ පියයුරු පිළිකා තත්ත්වය මූලික අවධියේ එකක් විය හැකිය. නමුත් රෝග ලක්ෂණ ඇති වූ පසුව විනිශ්චය කර ගත් පියයුරු පිළිකා තත්වය පසු අවධියක එකක් විය හැකි අතර එයට වෙනස් ආකාරයක ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වේ. වඩාත් ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය කුමක්දැයි ඔබගේ සෞඛ්‍ය සේවා කණ්ඩායම ඔබ සමග සාකච්ඡා කරනු ඇත.

ඔබට ගැළපෙන ප්‍රතිකාර ක්‍රමය තෝරා ගැනීම

ඔබට ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය තෝරා ගැනීමේදී ඔබගේ වෛද්‍යවරයා විසින් පහත සාධක සලකා බලනු ඇත:

  • ඔබගේ පිලිකා තත්වයේ අවධිය සහ ශ්‍රේණිය (එය කොතරම් විශාල ද යන්න සහ එය කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්න)
  • ඔබගේ සාමාන්‍ය සෞඛ්‍යය
  • ඔබ ආතර්වහරණයට ලක් වී ඇත්ද යන්න

ඔබගේ ප්‍රතිකාරය පිළිබඳව සේවා කණ්ඩායම සමග ඕනෑම වේලාවක සාකච්ඡා කර ප්‍රශ්න ඇසීමට ඔබට හැකියාව තිබිය යුතුය.

ප්‍රතිකාර සමාලෝචනය

සාමාන්‍යයෙන් පියයුරු පිළිකාවට ඇති ප්‍රථම ප්‍රතිකාර ආකාරය සැත්කමක් කිරීම වේ. ඔබට ඇති පියයුරු පිළිකා වර්ගය මත ඔබට සිදු කරන සැත්කම් වර්ගය තීරණය කරනු ලබයි. සැත්කමෙන් පසු ව, රසායන චිකිත්සක ප්‍රතිකාර හෝ විකිරණ චිකිත්සාව හෝ ඇතැම් අවස්ථාවලදී හෝමෝන හෝ ජෛවීය ප්‍රතිකාර සිදු කරනු ලබයි. එසේම නැවතත්, ඔබට සිදු කරන ප්‍රතිකාරය ඔබගේ පියයුරු පිළිකාවේ වර්ගය මත රඳා පවතී. වඩාත් සුදුසු ප්‍රතිකාර සැලසුම ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබ සමග සාකච්ඡා කරනු ඇත. සමහර අවස්ථාවලදී රසායන චිකිත්සක ප්‍රතිකාර හෝ හෝමෝන චිකිත්සාව පළමු ප්‍රතිකාරය වනු ඇත. ද්විතීක පියයුරු පිළිකාව-බොහෝ පියයුරු පිළිකා එහි මූලික අවධි වලදී සොයා ගනු ලැබේ. නමුත් කාන්තාවන් සුළු පිරිසකගේ පියයුරු පිළිකා තත්ත්වය සොයාගනු ලබන්නේ එය ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිරීමෙන් පසුවය (මෙටාස්ටටින් - Metastasis). එවැනි අවස්ථාවකදී ඔබට සිදු කරන ප්‍රතිකාර ආකාරය වෙනස් විය හැකිය. දරුණු මට්ටමේ හෝ මෙටාස්ථතික පිළිකාව ලෙස ද හඳුන්වන ද්විතීයික පිළිකා තත්ත්වය සුව කළ නොහැක. ප්‍රතිකාර මගින් තත්ත්වය සමනය කිරීම අරමුණු කරයි. මෙහිදී පිළිකාව හැකිළ වීම හෝ අතුරුදහන් කරවීමක් සිදුවේ. එසේම ඔබට සාමාන්‍ය ලෙස ජීවිතය උපරිමයෙන් විඳීමට හැකි වනු ඇත.

සැත්කම

පියයුරු පිළිකා සැත්කම් ප්‍රධාන ආකාර දෙකක් ඇත:

  • පියයුර සංරක්ෂිත සැත්කම -( බ්‍රෙස්ට් කොන්සර්වින් සර්ජරි - Breast conserving surgery) මෙහිදී පිළිකාමය ගැටිත්ත (ටියුමර්) ඉවත් කරනු ලැබේ
  • පියයුර ඉවත් කිරීමේ සැත්කම (මැස්ටෙක්ටොමි Mastectomy) - මෙහි දී සැත්කමක් මගින් සම්පූර්ණ පියයුර ඉවත් කරනු ලබයි

බොහෝ අවස්ථාවල දී, ප්‍රතිස්ථාපිත පියයුරක් සැකසීම සඳහා, පියයුරු ඉවත් කිරීමේ සැත්කමට පසුව පියයුරු ප්‍රතිස්ථාපනය කිරීමේ සැත්කමක් සිදු කරනු ලබයි. මූලික අවධියේ පියයුරු පිළිකාවට ප්‍රතිකාර කිරීමේදී, පියයුරු සංරක්ෂිත සැත්කම සහ ඉන් පසුව විකිරණ චිකිත්සාව කිරීම සම්පූර්ණ පියයුර ඉවත් කිරීමේ සැත්කම තරන්ම සාර්ථක බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. පියයුරු සංරක්ෂිත සැත්කම-පියයුරු සංරක්ෂිත සැත්කම පියයුරෙහි ඇති ගැටිත්ත සහ ඒ ආශ්‍රිත කුඩා පටක ප්‍රදේශයක් පමණක් ඉවත් කිරීමෙහි සිට පියයුරෙන් කොටසක් හෝ ඉන් හතරෙන් එකක් පමණ කොටසක් ඉවත් කිරීම දක්වා පරාසයේ පවතී. ඔබට පියයුරු සංරක්ෂිත සැත්කමක් සිදු කරන්නේ නම්, ඔබගේ පියයුරෙන් ඉවත් කරන පටක ප්‍රමාණය පහත සාධක මත රඳා පවතී:

  • ඔබට ඇති පිළිකාවේ වර්ගය
  • පියයුරෙහි ඇති ගැටිත්තෙහි ප්‍රමාණය සහ එය ඔබගේ පියයුර තුළ පවතින ස්ථානය
  • ඒ ආශ්‍රිත පටක කොපමණ ප්‍රමාණයක් ඉවත් කළ යුතු ද යන්න
  • ඔබගේ පියයුරෙහි ප්‍රමාණය

ඔබ ගේ ශල්‍ය වෛද්‍යවරයා විසින් පිළිකා සෛල අංශුමාත්‍රයක් හෝ පවතී දැයි බැලීමට, සෑම විටම පිලිකාව වටා පවතින නිරෝගි පියයුරු පටක ප්‍රමාණයක් ද ඉවත් කරනු ඇත. එම නිරෝගී පටක කොටසේ පිළිකා තත්ත්වයක් නොපවතී නම්, ඔබට නැවතත් එම පිළිකා තත්ත්වය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. එම නිරෝගී පටක කොටසේ පිළිකා සෛල හමු වූයේ නම්, ඔබගේ පියයුරෙන් තව දුරටත් පටක ප්‍රමාණයක් ඉවත් කිරිමට සිදුවිය හැකිය. පියයුරු සංරක්ෂිත සැත්කමෙන් පසුව ඔබට තවදුරටත් පිළිකා සෛල පවතී නම් ඒවා විනාශ කිරීම සඳහා සාමාන්‍යයෙන් විකිරණ චිකිත්සාව සිදු කරනු ඇත. පියයුර ඉවත් කිරීමේ සැත්කම (මැස්ටෙක්ටොමි Mastectomy - මැස්ටෙක්ටොමි (Mastectomy)) යනු තන පුඩුව ද ඇතුළත්ව සියලුම පියයුරු පටකය ඉවත් කිරීමයි. පිළිකා තත්වය ඔබගේ වසා ගැටිතිවලට ව්‍යාප්තවී ඇති බවට පැහැදිලි සාධක නොමැති නම්, එම ප්‍රදේශය හා සම්බන්ධ පළමු වසා ගැටිත්තෙහි පටක පරීක්ෂාවක් සමඟ, ඔබගේ සම්පූර්ණ පියයුර ඉවත් කිරීමේ සැත්කමක් සිදු කරනු ඇත. පිලිකා තත්වය ඔබගේ වසා ගැටිති වලට ද ව්‍යාප්ත වී ඇත්නම් ඔබගේ කිහිලි ප්‍රදේශයේ ඇති වසා ගැටිති ද ඉවත් කිරීමට සිදුවනු ඇත. නැවත ගොඩ නැංවීමේ සැත්කම (Reconstruction) -පියයුරු ගොඩනැංවීමේ සැත්කම යනු, ඔබ ගේ අනෙක් පියයුරෙහි ප්‍රමාණයට හා හැඩයට හැකි උපරිම ලෙස සමාන වන ආකාරයට නව පියයුරක් සකස් කිරීමේ සැත්කමකි. පියයුරු ගොඩනැංවීමේ සැත්කම, (Re-construction) පියයුර සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ සැත්කම (මැස්ටෙක්ටොමි - Mastectomy) කරන අතරතුරදීම සිදු කළ හැකිය (Immediate re-construction). එසේත් නැත්නම් එය පසුව සිදුකල හැකිය (Delayed re-construction). බාහිර කොටසක් ඇතුලත් කිරීම මගින් හෝ ඔබගේ ශරීරයේ වෙනත් කොටසකින් ලබා ගත් පටක කොටසක් යොදා ගැනීම මගින් නව පියයුරක් සකස් කිරීම සිදු කළ හැකිය. වසා ගැටිති සැත්කම-පිළිකා තත්ත්වය පැතිරී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා, ප්‍රදේශය ආශ්‍රිත පළමු වසා ගැටිත්තෙහි පටක පරීක්ෂාවක් කළ හැකිය (Sentinel lymph node biopsy). පිළිකා සෛල පැතිරීම ආරම්භ වන පළමු වසාගැටිත්ත සෙන්ටිනල් වසාගැටිත්ත (සෙන්ටිනෙල් ලිම්ප් නෝඩ්ස් - sentinel lymph nodes) ලෙස හඳුන්වයි. ඒවා කිහිලි ප්‍රදේශයේ වසා ගැටිතිවල කොටසක් වේ(ඇක්සිලරි ලිම්ප් නෝඩ්ස් - sentinel lymph nodes) (ලෙස -axillary lymph nodes). සෙන්ටිනල් වසා ගැටිති ( සෙන්ටිනෙල් ලිම්ප් නෝඩ්ස් - Sentinel lymph nodes) තිබෙන ස්ථානය විවිධ වේ. එමනිසා ඒවා හඳුනා ගැනීමට රේඩියෝඅයිසොටෝපයක (Radioisotope) සහ නිල් පැහැති සායමක සංයෝජනයක් භාවිතා කරයි. පිළිකා සෛල තිබේදැයි පරික්ෂා කිරීමට, විද්‍යාගාරයකදී සෙන්ටිනල් වසා ගැටිති (සෙන්ටිනෙල් ලිම්ප් නෝඩ්ස් - Sentinel lymph nodes) පරික්ෂා කරනු ලබයි. පිළිකාව පැතිරී ඇත්දැයි බැලීමට මෙය හොඳ දර්ශකයක් වේ. සෙන්ටිනල් වසා ගැටිතිවල පිළිකා සෛල තිබේනම්, වැඩිදුරටත් කිහිලි ප්‍රදේශයෙන් වසා ගැටිති ඉවත් කිරීමට ඔබට තවත් සැත්කමක් අවශ්‍ය වනු ඇත.

විකිරණ චිකිත්සාව

විකිරණ චිකිත්සාවේදී පාලනය කරන ලද විකිරණ මාත්‍රා වන් යොදාගෙන පිළිකා සෛල විනාශ කිරීම සිදු කරනු ලබයි. ඉතුරු වී ඇති පිළිකා සෛල විනාශ කිරීම සඳහා සාමාන්‍යයෙන් එය සැත්කමට හෝ රසායන චිකිත්සක ප්‍රතිකාර වලට පසුව ලබා දෙනු ලබයි. ඔබට විකිරණ චිකිත්සාව අවශ්‍ය නම්, ඔබගේ සැත්කමෙන් හෝ රසායන චිකිත්සක ප්‍රතිකාර අවසන් වී මසකට පසු ව එය ආරම්භ කරනු ඇත. එසේ සිදුකරන්නේ ඔබගේ සිරුරට සුව වීමට යම් කාලයක් ලබා දීමටයි. බොහෝවිට ඔබට සතියකට දින තුනක් හෝ පහක්, සති තුනේ සිට හයක් දක්වා කාල සීමාවකට විකිරණ චිකිත්සාව සිදු කරනු ඇත. මෙම එක් ප්‍රතිකාරයක් මිනිත්තු කිහිපයක් පමණ සිදු කරනු ඇත. ඔබගේ පිළිකා තත්ත්වය සහ ඔබට සිදුකරනු ලැබූ සැත්කමේ ස්වභාවය මත ඔබට ලබාදෙන විකිරණ චිකිත්සා වර්ගය රඳා පවතී. සමහර කාන්තාවන්ට විකිරණ චිකිත්සාව සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇත. පවතින විකිරණ චිකිත්සා වර්ග:

  • පියයුරු විකිරණ චිකිත්සාව (බ්‍රෙස්ට් රේඩියෝ තෙරපි - Breast radiotherapy)- පියයුරු සංරක්ෂිත සැත්කමෙන් පසුව ඉතිරිව පවතින පියයුරු පටකයට විකිරණ චිකිත්සාව සිදු කරනු ලබයි
  • පපුවේ බිත්තියට සිදු කරන විකිරණ චිකිත්සාව (චෙස්ට් වෝල් රේඩියෝ තෙරපි -Chest wall radiotherapy ) - පියයුර සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ සැත්කමෙන් පසුව පපුවේ බිත්තියට විකිරණ චිකිත්සාව සිදු කරනු ලබයි
  • බ්‍රෙස්ට් බූට්ස් (Breast boost)-සමහර කාන්තාවන් සඳහා පිලිකාව ඉවත් කරනු ලැබූ ප්‍රදේශයට විකිරණ අධි මාත්‍රාවකින් ලබා දෙනු ඇත. කෙසේ වෙතත් විශේෂයෙන්ම ඔබට තරමක් විශාල පියයුරු ඇත්නම්, මෙමගින් පියයුරෙහි බාහිර පෙනුමට බලපෑම් ඇති කළ හැකිය. එසේම සමහර අවස්ථාවලදී පියයුරු පටකය ඝන බවට පත්වීම(ෆයිබ්‍රෝසිස් - Fibrosis) වැනි අනෙකුත් අතුරු ප්‍රතිඵල ද ඇතිවිය හැකිය.
  • වසා ගැටිති සදහා විකිරණ චිකිත්සාව-වසා ගැටිති වල තිබිය හැකි පිළිකා සෛල විනාශ කිරීම සඳහා කිහිලි ප්‍රදේශය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ට විකිරණ චිකිත්සාව සිදු කරනු ලබයි

විකිරණ චිකිත්සාවේ අතුරු ප්‍රතිඵල වලට පහත ඒවා ඇතුළත් වෙයි:

  • පියයුරු මතුපිට සම ආසාදනයට ලක්වීම සහ තද පැහැ වීම. එය රත් පැහැති වී වේදනා සහිත ස්වභාවයක් ගනී
  • අධික වෙහෙසකාරී ස්වභාවය(තෙහෙට්ටුව)
  • ඔබගේ කිහිලි ප්‍රදේශයේ ඇති වසා ගැටිති අවහිර වීම නිසා ඔබගේ බාහුව තුළ අමතර තරල එක්රැස්වීම (ලිම්ෆොඩීමා - Lymphoedema).

රසායනික චිකිත්සක ප්‍රතිකාර (Chemotherapy)

රසායනික චිකිත්සක ප්‍රතිකාර වල දී ප්‍රති පිළිකා ඖෂධ (සෛල නාශක) භාවිතා කිරීම මගින් පිළිකා සෛල විනාශ කිරීම සිදු කරයි. එය ඉවත් වී නොමැති පිළිකා සෛල විනාශ කිරීම සඳහා සාමාන්‍යයෙන් සැත්කමෙන් පසුව සිදු කරයි. මෙය සහයක රසායනික චිකිත්සක ප්‍රතිකාර ලෙස හඳුන්වයි (ඇජුවන්ට් කීමෝතෙරපි - Adjuvant chemotherapy). සමහර අවස්ථාවලදී ඔබට සැත්කමට පෙර රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබාදිය හැකිය. මෙය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ විශාල ගැටිත්තක් හැකිළ වීම සඳහායි. මෙය පූර්ව සහයක රසායන චිකිත්සක ප්‍රතිකාරය (නියෝ-ඇජුවන්ට් කීමෝතෙරපි - Neo-adjuvant chemotherapy) ලෙස හඳුන්වයි. රසායන චිකිත්සක ප්‍රතිකාර සඳහා විවිධ වර්ගයේ ඖෂධ භාවිතා කරයි. සාමාන්‍යයෙන් මේවා තුනක් එකවර ලබා දෙයි. ඔබට ඇති පියයුරු පිළිකාවේ වර්ගය සහ එය කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්න මත ඔබට ලබාදෙන ඖෂධ වර්ගය සහ එම ඖෂධ සංයෝජනය රඳා පවතී. රසායනික චිකිත්සක ප්‍රතිකාරය සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශයේදී ලබා දෙනු ලබයි. එනම් එය ලබා ගැනීමට ඔබට රෝහල්ගත වීමට අවශ්‍යතාවයක් නැත. ශිරාවකට ඇතුලත් කිරීම මගින්, සාමාන්‍යයෙන් සෘජුවම ඔබගේ රුධිරයට එම ඖෂධ ලබාදෙනු ලබයි. සමහර අවස්ථාවලදී ඔබට නිවසේදී භාවිතා කළ හැකි ඖෂධ කරල් ලබා දෙනු ඇත. සෑම සති දෙකකට හෝ තුනකට වරක් මාස හතරේ සිට අට දක්වා කාල සීමාවක් පුරාවට ඔබට රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබා දෙනු ඇත. මෙසේ කරන්නේ ප්‍රතිකාර අතරතුරදී ඔබගේ සිරුරට යම් විවේකයක් ලබා දීම සඳහාය. රසායනික චිකිත්සක ප්‍රතිකාරයේ ප්‍රධාන අතුරු ප්‍රතිපල ඇති වන්නේ, ප්‍රතිශක්තීකරණ සෛල වැනි සාමාන්‍ය නිරෝගී සෛල වලට ඒවායින් ඇති වන බලපෑම හේතුවෙනි. අතුරු ප්‍රතිඵල ලෙස:

  • ආසාදන තත්ත්ව
  • ආහාර රුචිය නැති වීම
  • ඔක්කාරය සහ වමනය
  • වෙහෙසකාරී ස්වභාවය
  • හිස කෙස් හැලීම
  • මුඛයෙහි දැවිල්ල

ඔබගේ වෛද්‍යවරයාට නිර්දේශ කල හැකි ඖෂධ මගින් බොහෝ අතුරු ප්‍රතිඵල වළක්වා ගැනීමට හෝ පාලනය කර ගැනීමට හැකිය. රසායනික චිකිත්සක ඖෂධ මගින් ඔබගේ ශරීරය තුළ ඊස්ට්‍රජන් නිෂ්පාදනයද නැවැත්විය හැකි ය. ඊස්ට්‍රජන් මගින් සමහර පිළිකා තත්ව වල වර්ධනය උත්තේජනය කරයි. ඔබ ආර්තවහරණයට ලක් වී නැත්නම්, ඔබ රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර දී ඔබගේ ආර්තව චක්‍රය නැවතිය හැකි ය. ඔබ රසායනික චිකිත්සක ප්‍රතිකාර නතර කළ පසුව, ඔබගේ ඩිම්බ කෝෂ මගින් යළිත් ඊස්ට්‍රජන් නිෂ්පාදනය වීම ආරම්භ විය යුතුය. නමුත් සෑම විටම මෙය සිදු නොවන අතර ඔබට පූර්ව ආර්තවහරණයක් ඇති විය හැකිය. මෙය සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් අතර සුලබ වේ. මන්ද ඔවුන් ආර්ථව හරණය වන වයසට ලං වී ඇති නිසාය. ප්‍රතිකාර මගින් ඔබගේ සරුභාවයට ඇති විය හැකි අයුතු ප්‍රතිඵල පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත. ද්විතීයික පිළිකාව සඳහා රසායනික චිකිත්සක ප්‍රතිකාර කිරීම-ඔබගේ පිළිකා තත්ත්වය පියයුරෙන් සහ වසා ගැටිති වලින් එහාට, ශරීරයේ අනෙකුත් කොටස් වලට ව්‍යාප්ත වී ඇත්නම් රසායනික චිකිත්සක ප්‍රතිකාර මඟින් පිළිකා තත්ත්වය සම්පූර්ණයෙන් සුව නොවනු ඇත. නමුත් එමගින් ගැටිත්ත හැකිළ වීම, ඔබගේ රෝග ලක්ෂණ සමනය කිරීම සහ ඔබගේ ජීවිත කාලය දිගු කර කර ගැනීමට උපකාර වනු ඇත.

හෝමෝන ප්‍රතිකාර

සමහර පියයුරු පිළිකා තත්ත්ව වර්ධනය වීම, ඔබගේ ශරීරය තුළ සාමාන්‍යයෙන් හමුවන හෝමෝන වන ඊස්ට්‍රජන් හෝ ප්‍රොජෙස්ටරෝන් මගින් උත්තේජනය වේ. මෙවැනි ආකාරයේ පිළිකා තත්ත්ව, හෝර්මෝන ප්‍රතිග්‍රාහක ධනාත්මක පිළිකා (හොර්මොන් රිසෙප්ටර් පොසිටිව් කැන්සර් -Hormone receptor-positive cancers) ලෙස හඳුන්වනු ලබයි. ඔබගේ ශරීරය තුළ එම හෝර්මෝන මට්ටම අඩු කිරීම හෝ එම හෝර්මෝනවල බලපෑම අඩු කිරිම මගින් හෝර්මෝන චිකිත්සාව ක්‍රියා කරනු ලබයි. ඔබගේ පිලිකාවේ අවධිය සහ ශ්‍රේණිය, එය සංවේදී වන හෝර්මෝන වර්ගය, ඔබගේ වයස, ඔබ ආර්තවහරණයට ලක් වී ඇද්ද යන්න සහ ඔබ ලබන අනෙකුත් ප්‍රතිකාර වර්ග මත ඔබට ලබාදෙන හෝර්මෝන චිකිත්සා වර්ගය තීරණය කරනු ලබයි. සාමාන්‍යයෙන් ඔබට සැත්කමෙන් සහ රසායන චිකිත්සක ප්‍රතිකාර වලින් පසුව හෝර්මෝන චිකිත්සාව ලබා දෙනු ලබයි. නමුත් සමහර අවස්ථාවලදී සැත්කමට පෙර ගැටිත්ත හැකිල වීම සඳහා හෝර්මෝන චිකිත්සාව ලබා දෙනු ලබයි. එවිට එය ඉවත් කිරීම පහසු වේ. ඔබගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය මත ඔබට සැත්කමක් කිරීමට, රසායන චිකිත්සක ප්‍රතිකාර ලබාදීමට හෝ විකිරණ චිකිත්සාව ලබා දීමට නොහැකි නම් ඔබගේ පියයුරු පිළිකාවට ලබා දිය හැකි එකම ප්‍රතිකාර ක්‍රමය ලෙස හෝර්මෝන චිකිත්සාව යොදා ගත හැකිය. බොහෝ අවස්ථාවලදී සැත්කමෙන් පසුව වසර පහක් පමණ යනතුරු හෝර්මෝන චිකිත්සාව ලබා ගැනීමට ඔබට සිදුවනු ඇත. ඔබගේ පියයුරු පිළිකාව හෝර්මෝන සඳහා සංවේදී නොවේ නම්, හෝර්මෝන චිකිත්සාව මගින් ඔබට ප්‍රථිඵලයක් නොලැබෙනු ඇත. ටැමොක්සිෆන් (Tamoxifen) මගින් ඊස්ට්‍රජන් හෝමෝනය, ඊස්ට්‍රජන් ප්‍රතිග්‍රාහක සංවේදී පිළිකා සෛලවලට බැඳීම නවත්වයි. එය දිනපතා කරලක් ලෙස හෝ දියරයක් ලෙස භාවිතා කිරීමට ඇත. එමගින් ඇතැම් අතුරු ප්‍රතිපල ඇති විය හැකිය. ඒවා නම්:

  • වෙහෙසකාරී ස්වභාවය
  • ඔබගේ ආර්තව චක්‍රය වෙනස් වීම
  • ඔක්කාරයට ඒම සහ වමනය
  • සම රතු වීම
  • හන්දි වල වේදනාව
  • හිසේ කැක්කුම
  • ශරීර ස්කන්ධය වැඩි වීම

ඇරෝමැටිස් වලක්වන ඖෂධ (Aromatase inhibitors)-ඔබ ආර්තවහරණයට ලක් වී ඇත්නම් ඔබට ඇරෝමැටිස් වළක්වන ඖෂධයක් (Aromatas inhibitors) ලබා දෙනු ඇත. ආර්තවහරණයෙන් පසුව ඔබගේ ශරීරය තුළ ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීමට උපකාරී වන සංයෝගයක් වන ඇරෝමැටිස් අවහිර කිරීම මගින් මෙම ආකාරයේ ඖෂධ ක්‍රියාකරනු ලබයි. ආර්තවහරණයට පෙර ඊස්ට්‍රජන් නිෂ්පාදනය කරනු ලබන්නේ ඔබගේ ඩිම්බ කෝෂවලිනි. ඇරෝමැටිස් වලක්වන ඖෂධ වර්ග තුනක් ඔබට ලබාදිය හැකි ය. ඒවා නම්, ඇනස්ට්‍රොසෝල් (Anastrozole), එක්සෙමෙස්ටින් (Exemestane) සහ ලෙට්‍රොසෝල් (Letrozole )වේ. මේවා දිනකට එක් කරල බැගින් ලබා ගනු ලබයි. අතුරු ප්‍රතිඵල ලෙස:

  • ශරීර උෂ්ණත්වය වැඩි වීම රතුවීම සහ දහඩිය දැමීම
  • ලිංගික ආශාව නැති වීම-ලිංගික බෙලහීනතාව
  • ඔක්කාරය සහ වමනය
  • වෙහෙසකාරී ස්වභාවය
  • හන්දි වල වේදනාව සහ අස්ථිවල වේදනාව
  • හිසේ කැක්කුම
  • සමේ කුෂ්ට ඇතිවීම

ඩිම්බ කෝෂ ප්‍රහීණය හෝ බෙලහීන කිරීම-ආර්තවහරණය සිදු නොවූ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් නිෂ්පාදනය වන්නේ ඩිම්බ කෝෂවලිනි. ඩිම්බ කෝෂ ප්‍රහීනය හෝ නිශේධනය කිරීම මගින් ඩිම්බකෝෂවල ක්‍රියාකාරීත්වය සහ ඊස්ට්‍රජන් නිෂ්පාදනය නවත්වනු ලබයි. මෙය සැත්කමකින් හෝ විකිරණ චිකිත්සාව මඟින් සිදු කළ හැකිය. මෙමගින් ඩිම්බකෝෂවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නතර කරනු ලබයි. එනම් ඔබට ආර්තවහරණය කලින් සිදුවේ. ඩිම්බ කෝෂ නිශේධනය කිරීමේදී, ගෝසෙරලින් (Goserelin) නම් ඖෂධයක් භාවිතා කරනු ලබයි. එය ලුටීයකරණ හෝමෝනය නිදහස් කිරීමේ හෝමෝනයට සහයක සංයෝගයක් වේ (Agonist). ඔබ එම ඖෂධය ලබාගන්නා අතරතුර දී ඔබගේ ආර්තව චක්‍රය නතර වනු ඇත. නමුත් ඔබගේ ප්‍රතිකාර අවසන් වූ පසුව ආර්තව චක්‍රය නැවත ආරම්භ විය යුතුය. නමුත් ඔබ ආර්තවහරනය ට ලගා වී ඇත්නම්, එනම් ඔබගේ වයස අවුරුදු 50 ක් පමණ වේ නම්, ඔබ එම ඖෂධය ගැනීම නතර කලද, ආර්තව චක්‍රය නැවත ආරම්භ නොවිය හැකිය. ගෝසෙරලින් (Goserelin) එන්නතක් ලෙස මසකට වරක් ලබා ගනු ලබයි. එමගින් ආර්තවහරණයේ අතුරු ප්‍රතිඵල ඇති විය හැකිය. එනම්:

  • ශරීර උෂ්ණත්වය වැඩිවීම රතුවීම සහ දහඩිය දැමීම
  • මනෝභාව වෙනස්වීම්
  • නින්දට බාධා ඇතිවීම

ජෛවීය චිකිත්සාව (ඉලක්ක කරගත් චිකිත්සාව)

හියුමන් එපිඩමල් ග්‍රෝත් ෆැක්ටර් රිසෙප්ටර් ( Human epidermal growth factor receptor 2 (HER2)) නම් ප්‍රෝටීනයක් මගින් ඇතැම් පියයුරු පිළිකා වර්ධනය වීමට උත්තේජනය විය හැකිය. මෙම පිළිකා HER2 සඳහා ධනාත්මක වේ යැයි කියනු ලබයි. HER2 හි බලපෑම නතර කිරීම සහ ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකා සෛල සමග සටන් කිරීමට උපකාර කිරීම මගින් ජෛව විද්‍යාත්මක චිකිත්සාව ක්‍රියාකරනු ලබයි. ඔබගේ ශරීරයේ HER2 ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් පවතී නම් සහ ජෛවීය ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවක් ඇත් නම්, ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) නමින් හදුන්වන ඖෂධයක් ඔබට නිර්දේශ කරනු ඇත. හර්සෙප්ටින් (Herceptin) යන වෙළඳ නාමයෙන්ද හදුන්වන, ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) ඖෂධය සාමාන්‍යයෙන් රසායන චිකිත්සක ප්‍රතිකාර වලින් පසුව භාවිතා කරයි. ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) - ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) යනු, මොනොක්ලෝනල් ඇන්ටිබොඩි (Monoclonal antibody) යන නමින් හදුන්වන ජෛවීය චිකිත්සා වර්ගයකි. ප්‍රතිදේහ ස්වභාවයෙන් ඔබගේ ශරීරය තුළ පවතින අතර, ඒවා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නිෂ්පාදනය කරනු ලබන්නේ වෛරස සහ බැක්ටීරියා වැනි හානිකර සෛල විනාශ කිරීමටයි. ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) ප්‍රතිදේහය මගින් HER2 ප්‍රෝටීනයට ධනාත්මක වන පිළිකා සෛල ඉලක්ක කර විනාශ කරනු ලබයි. ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) සාමාන්‍යයෙන් ශිරාවකට සම්බන්ධ කරන කටුවක් මගින් ලබාදෙනු ලබයි. එසේම එය ඇතැම් විට සමට යටින් ලබා දෙන එන්නතක් (සබ්කියුටේනියස් ඉන්ජෙක්ෂන් - Subcutaneous injection) ලෙස ද ඇත. ඔබට ප්‍රතිකාර රෝහලේදී ලබා දෙනු ඇත. එක් ප්‍රතිකාර සැසියකට සාමාන්‍යයෙන් පැයක් පමණ කාලයක් ගතවේ. එසේම ඔබට ප්‍රතිකාර ලබා දෙන සැසි ගණන, ඔබට ඇති පියයුරු පිළිකාව පූර්ව අවධියේ ද පසු අවධියක ද යන්න මත රඳා පවතී. සාමාන්‍යයෙන් ගත් කල, ඔබගේ පියයුරු පිළිකාව පූර්ව අවධියේ නම් සෑම සති තුනකටම වරක් ද, එය වඩාත් පසු අවධියක නම් සෑම සතියකටම වරක් ද, එක් ප්‍රතිකාර සැසියක් ඔබට අවශ්‍ය වනු ඇත. ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) මගින් හෘදය සම්බන්ධ ගැටලු ද ඇතුළත් අතුරු ප්‍රතිඵල ඇති විය හැකිය. එනම්, ඇන්ජයිනා, පාලනය නොවූ අධි රුධිර පීඩනය හෝ හෘදයේ කපාට හා සම්බන්ධ රෝගී තත්ත්ව වැනි හෘදය හා සම්බන්ධ ගැටලු ඔබට තිබේ නම්, එම ඖෂධය ඔබට සුදුසු නොවේ. ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) ඖෂධ ලබාගැනීම ඔබට අවශ්‍ය නම්, එමගින් හෘදයට ගැටලු ඇති වී නොමැති බවට තහවුරු කරගැනීම සඳහා නිතිපතා ඔබගේ හෘදයේ පරීක්ෂණ සිදු කරයි. ට්‍රාස්ටුසුමබ් (Trastuzumab) ඖෂධයේ අනෙකුත් අතුරු ප්‍රතිඵල ලෙස:

  • ඖෂධ ගැනීම ආරම්භ කළ විට ම ආසාත්මිකතාවයක් ඇති වීම. මෙහිදී ඔක්කාරය, වීසිං, ඇඟ සීතල කිරීම සහ උණ ඇතිවීම සිදුවිය හැකි ය
  • පාචනය
  • වෙහෙසකාරී ස්වභාවය
  • වේදනා සහ කැක්කුම් ඇතිවීම

බිස්ෆොස්ෆොනේට්ස් (Bisphosphonates)

ඔබ ආර්ථවහරණයට පත්වී ඇත්නම් ඔබට බිස්ෆොස්ෆොනේට්ස් ( Bisphosphonates) ලබාදෙනු ඇත සොලඩ්‍රෝනික් ඇසිඩ් (Zoledronic acid) හෝ සෝඩ්යම් ක්ලෝඩ්‍රෝනේට් (Sodium clodronate). ඒවා මගින් ඔබගේ පියයුරු පිලිකාව අස්ථි වලට සහ ශරීරයේ අනෙකුත් කොටස් වලට ව්‍යාප්ත වීමට ඇති අවදානම අඩු කිරීමට උපකාරී වන බව මෑතකදී සිදුකළ පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. බොහෝවිට ඔබට රසායන චිකිත්සක ප්‍රතිකාර සිදු කරන අවස්ථාවේ දීම බිස්ෆොස්ෆොනේට්ස් (Bisphosphonates) ලබා දෙනු ඇත. මෙය ඍජුවම ශිරාවකට එන්නත් කිරීමෙන් හෝ කරල් ආකාරට හෝ ලබා දිය හැකිය. කලාතුරකින් ඒවා මගින් වකුගඩු සම්බන්ධ ගැටලු සහ යටි හනුවේ අස්ථි ක්ෂය වීමක් ඇති කළ හැකිය. මෙහි දී යටි හනුවේ අස්ථිය මිය යාමක් සිදුවේ. ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර ඔබගේ වෛද්‍යවරයා විසින් ප්‍රයෝජන සහ ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳව ඔබට විස්තර කර දෙනු ඇත.

මානසික උපකාර

රෝගීන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට පිළිකා තත්වය සමග ගනුදෙනු කිරීම විශාල අභියෝගයක් විය හැකි ය. එමගින් මානසික සහ ප්‍රායෝගික අපහසුතා ඇතිවිය හැකිය. බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ පියයුරක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ එහි කොටසක් ඉවත් කිරීම දරාගැනීමට සිදුවෙනු ඇත. එය බොහෝ සිත් තැවුල් ඇති කළ හැකිය. පුහුණු උපදේශක වරයෙකු හෝ චිකිත්සකවරයෙකු සමග, ඔබගේ හැඟීම් හෝ අනෙකුත් අපහසුතා පිළිබඳව කතාබහ කිරීම බොහෝවිට උපකාරයක් විය හැකිය. ඔබගේ රෝගී තත්ත්වයේ ඕනෑම අවධියකදී මෙවැනි ආකාරයේ උපකාර ඉල්ලා සිටීමට ඔබට හැකි ය. උපකාර සහ සහය ලබාගැනීමට විවිධාකාරයේ ක්‍රම ඇත. ඔබගේ රෝහල් වෛද්‍යවරයාට, විශේෂඥ වෛද්‍යවරයාට, හෙදියට හෝ ඔබගේ පවුලේ වෛද්‍යවරයාට ඔබව උපදේශකවරකු වෙත යොමු කළ හැකිය. ඔබට මානසික අවපීඩන තත්ත්වයක් දැනෙනවා නම් ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. විෂාදනාශක ඖෂධ වට්ටෝරුවක් ලබාගැනීම උපකාර විය හැකිය. එසේ ම ඔබගේ වෛද්‍යවරයාට ඔබ සඳහා උපදේශක වරයෙකු හෝ මානසික වෛද්‍යවරයකු සමග හමුවක් සූදානම් කළ හැකිය. ඔබගේ තත්වයේම පසු වූ අයෙකු සමග සාකච්ඡා කිරීම මගින් ඔබට උපකාරයක් විය හැකිය. බොහෝ සංවිධාන වල උපකාර සේවා සහ අන්තර්ජාල සංසද ඇත. ඔවුන්ට ඔබව පිළිකා තත්ත්වය සඳහා ප්‍රතිකාර ලැබූ අනෙකුත් පුද්ගලයන් සමග සම්බන්ධ කරවිය හැකිය.

සායනික අත්හදා බැලීම්

පියයුරු පිලිකා ප්‍රතිකාර වල ඉතා හොඳ මට්ටමේ ප්‍රගතියක් ඇත. මේ වන විට බොහෝ කාන්තාවන් දිගු කාලයක් ජීවත් වන අතර ප්‍රතිකාර නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල ද සීමිත වේ. මෙම ප්‍රගමණය සායනික අත්හදා බැලීම් හරහා ලබා ගෙන ඇත. එනම් නව ප්‍රතිකාර විධි සහ ප්‍රතිකාර සංයෝජන, සම්මත ප්‍රතිකාර ආකාරය සමග සංසන්දනය කිරීම මගිනි. එක්සත් ජනපදයේ සිදුකරන සියලුම පිළිකා සායනික අත්හදා බැලීම් ඒවායේ වටිනාකම සහ ආරක්ෂිතව සිදුකර ගෙන යාම පිළිබඳව තහවුරු කිරීමට හොඳින් අධීක්ෂණය කරනු ලබයි. ඇත්ත වශයෙන්ම සායනික අත්හදා බැලීම් වලට සහභාගී වන්නන් සඳහා, චර්යානුගත සේවා ලබන්නන්ට වඩා හොඳ අර්ථකතනයක් ලබා දිය හැකිය. සායනික අත්හදා බැලීමකට සහභාගීවීමට ඔබ ගෙන් ඉල්ලා සිටියේ නම්, ඔබට තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් ලබාදෙනු ඇත. එසේම ඔබට ඊට සහභාගී වීමට අවශ්‍ය නම්, එයට කැමැත්ත ප්‍රකාශ කරන පෝරමයකට අත්සන් කිරීමට ඔබ ගෙන් ඉල්ලා සිටිනු ඇත. සායනික අත්හදා බැලීමට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉන් ඉවත් වීමට ඔබට හැකිය. එමගින් ඔබ ලබන සේවාව ට බලපෑමක් ඇති නොවේ.

අනුපූරක චිකිත්සාවන්

අනුපූරක චිකිත්සාවන් යනු, මානසික සහ කායික සුවතාව ප්‍රවර්ධනය කළ හැකි සාකල්‍ය චිකිත්සාවන් වේ. ඒවා සාම්ප්‍රදායික ප්‍රතිකාර සමඟම ලබාදෙනු ලැබේ. ඒවාට:

අනුපූරක චිකිත්සාව මගින් ඇතැම් කාන්තාවන්ට රෝග විනිශ්චය සහ ප්‍රතිකාර දරා ගැනීමට උපකාර කළ හැකිය. එසේම ප්‍රතිකාර සැලැස්මෙන් යම් විවේකයක්ද ලබා දේ. ඔබගේ රෝහලෙන් හෝ පියයුරු ඒකකය මගින් ඔබට අනුපූරක චිකිත්සා වලට සහභාගි වීමට අවස්ථාව සකසා දිය හැකිය. එසේත් නැත්නම් ඒවා ලබාගත හැකි ස්ථානයක් පිළිබඳව ඔබව දැනුවත් කළ හැකි ය. එමගින් ඔබගේ සාම්ප්‍රදායික ප්‍රතිකාර වලට බලපෑමක් ඇති නොවන බවට තහවුරු කර ගැනීම සඳහා, ඔබ භාවිතා කිරීමට අදහස් කරන අනුපූරක චිකිත්සා ක්‍රමය පිළිබඳව ඔබගේ පියයුරු පිළිකා විශේෂඥ හෙදිය සමඟ සාකච්ඡා කිරීම වැදගත් වේ.